ඒ වර්ශ දෙදහස් හතක් වූ සීතල නොවැම්බරයයි.
හිතවත, අප මධුවිතෙන් සප්පායම් වීමු. මධ්‍යම රාත්‍රිය එලඹෙන්නී මියුරු ගීත ගායනය ගිතාරයත් සමග මුසුවී අවට සරා යයි. අසල්වැසි නිවැසියන් සමහරෙක් නිදන කාමරයෙහි කවුලුවෙන් එබී නොරොක් වූ මුහුනැතිව විදුලි පහන් නිවා දමනු පෙනෙන්නේ බමන මතින් දෙපසට ඇදීගිය දෙනෙතිනි.
අවසන ඒ ඓතිහාසික ගමනෙහි ආරම්භයෙහි පළමු පියවර තබන්නෝ සිව් සක් රියෙහි ගාම්භීරත්වයෙන් අසුන්ගත්හ.
අහෝ මෙයනම් එසේ මෙසේ රියක් නොවේමැය. මහා රාජානුබලසම්පන්න ෆෝර්ඩ් ප්‍රිෆෙක්ට් වර්ගයේ ඉස්තරම් මාදිලියයි.
යතුරු වට කාලෙන් සිය රථය පනගන්වන මාතලී තෙමේ හිස නිකටින් මදක් ඉහලට ඔසවා ආඩම්භරාකාරයෙන් ඉදිරිය බලා ඇදෙයි.
ලොව ප්‍රථම අගමැතිනියද මෙහි පසුපස අසුනෙහි ගමනේ යෙදුනේ නොවේදැයි සිතත්ම මෙහි හිදගන්නට හෝ ලැබීම මහා භාග්‍යයක් සේ සැලකීම යුතු නොවේදැයි මනසට ඇතුලුවීමටත් පෙරම එය මාතලීගේ මුවින්ම පිටවිණි.
තවදුරටත් රථ වර්ණනාවෙහි ගැලීහුන් මාතලී හිරු නොබසින අධිරාජ්‍යයේ සිට පෙරදිග මුතුඇටයෙහි අතීත සිරිසගබෝ හිස දන්දුන් ගම් දනව්ව තෙක් රථය පැමිණ තිබූ අයුරු මෙන්ම එය තමා සතුවූ අයුරුත් රථයෙහි ඇණ මුරිච්චියේ පටන් ප්‍රිෆෙක්ට් ලාංචනය දක්වා විචාරයක යෙදෙයි.
ජයග්‍රාහී ලෙස තුන්වන ගියරයෙන් ගලිගමුව කන්ද තරණය කරන ප්රිෆෙක්ටුව "කන්දක් නැග්ගොත් පල්ලමක් තිබේ" යන අතීත උදාන වාක්‍ය සිහිකරමින් පැයට හැතැක්ම අසූවට මදක් වැඩියෙන් හැල්මේ ඇදෙයි.
හිතවත, වේගය පිළිබද නිසි අදහසක් නොවැටහෙන්නේ බීර පානයෙන් සිදුවූ මත් ගතිය ඔඩුදුවා ඇති බැවින්ද? නැත.
වේග මාපකයෙහි කටුව පෙන්වන්නේ නවත්වා තිබියදී හෝ ධාවනයේදී වුවද එකම දිශානතියකි. සැබැවින්ම රථයෙහි වේගය පැයට හැතැක්ම සියයක් හෝ ඊට වැඩිවන්නට ඇත.
දැන් දැන් මාතලීගේ වාග් විලාසය වෙනස්වීගෙන එයි. කම්මුල් රතු පැහැයට හැරෙනු පෙනෙන්නේ මාර්ගයෙහි දෙපස අප වෙතින් වායු වේගයෙන් ඇදීයන පහන් කණුවල පඩුපැහැති ආලෝකයෙනි. ඉදින් හිතවත මහානුභාව සම්පන්න ප්‍රිෆෙක්ට් රථයෙහි වැනුම අවසනට පැමින ඇත. සංවාදය ඔවුන්ගේ බසින්ම අකුරු කරමි. විලාසයෙහි වෙනස ගැන කමත්වා!
මාතලී- අයියෙ බ්රේක් එක පැන්නනෙ.
(*දැන් කෙලගෙන යනව වාහනේ නවතින්නෙම නෑ)
ජ: අයියා- මල කෙලියයි මල්ලි එහෙනම් ගියර් එකට දාලා ස්ලෝකරපන්.
මාතලී- අයියෙ ක්ලච් එකත් පැන්නනෙ.
ජ: අයියා- හු&@%@%&#&#¥©®£
හැතැක්ම පහක් පමන වායුවේගයෙන් ඇදී ආ රථය රංවල හන්දියේ නැවතින. ඒ නම් අප සිව් දෙනාගේ ජීවිතයෙහි අනිත්‍යය මෙනෙහිවූ අවස්තාවක්මැය.
මාතලී මින් මනත රාජානුබලසම්පන්න ප්රිෆෙක්ටුව ගැන වනද්දී පැරණි සිද්ධියෙහි වචනයක් දෙකක් මතක් කර දුන් විට හෙතෙම නිහඩ වෙයි.
සත්‍ය සිද්ධියකි.
ප්රිෆෙක්ටුවක පින්තූරයක් සොයාගත නොහී ඇන්ග්ලියාවක පින්තූරයක් මෙහි ඇමිණුවෙමි.
-ධනුෂ්ක හරිස්චන්ද්‍ර